ඉකුත් 11 වැනිදා මාතර සමුපකාර රෝහලේ ඇති වූ උණුසුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහල් සමූපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු මාතර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාධ්‍ය ඔස්සේ විකාශය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් සිදුකළ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
මාතර සමුපකාර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වසර හතකට තහනම් කිරීමට දකුණු පළාත් සමුපකාර කොමසාරිස්වරිය ගත් තීරණයත් සමඟ සභාපතිවරයාගේ නිල කාමරයට මුද්‍රා තැබීමට මීට පෙර පොලිසිය කටයුතු කර තිබුණි. එවන් පසුබිමක, තමන් රෝහලේ පාලනාධිකාරිය බව පවසමින් ජාතික ජන බලවේගයට සම්බන්ධ පිරිසක් ඉකුත් 11 වැනිදා රෝහලේ දොරගුළු කඩා ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම තත්ත්වය පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ අතර, ඒ සම්බන්ධයෙන් රෝහල් සමූපකාර සමිතියේ සභාපති ඒ.ඒ.ඩී. අමින්ද ඇතුළු දෙපාර්ශවයේම පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. සැකකරුවන් පස් දෙනා අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.













