මාතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් දෙකක් විසින් බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම හේතුවෙන්, එක් හෝටලයකට රුපියල් ලක්ෂ 5 බැගින් සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 10ක දඩයක් නියම කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිලි මත සිදුකළ වැටලීම්වලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් 100ක උපරිම සිල්ලර මිලක් සහිත ලීටර් 1ක පානීය ජල බෝතලයක් රුපියල් 450කට සහ රුපියල් 70ක මිලක් සහිත මිලිලීටර් 500ක ජල බෝතලයක් රුපියල් 300කට අලෙවි කර ඇති බවයි. මෙම වැටලීමට අදාළ නඩුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (13) අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.














