හිමිකරුවෙකු නොමැති දේපොළක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි නිවස සහ ඉඩම විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ පොදු මහජනතාවගේ පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) අද (14) විරෝධතාවයක නිරත විය. වත්මන් රජය බලයට පත්වීමේදී ලබාදුන් ‘ජනතාවගෙන් සොරකම් කළ දේපොළ යළි ජනතාවට පවරා දීම’ යන පොරොන්දුව සිහිපත් කරමින් ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
මෙම නිවස සහ ඉඩම අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතී. බැසිල් රාජපක්ෂ මහතා නීතිඥයින් මාර්ගයෙන් මෙම දේපොළට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අධිකරණයට දැනුම් දීමෙන් පසුව, එය හිමිකරුවෙකු නොමැති දේපොළක් ලෙස අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගැනුණි. පසුගිය අරගල සමයේදී මෙම නිවසට පිරිසක් ගිනි තැබීම නිසා එහි කොටසකට හානි සිදුවී තිබුණි. පසුව මෙම ස්ථානයේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, එය දිගු කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොවීය.
ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර පහසුකම් ලෙස හෝ වෙනත් පොදුජන පරිහරණය සඳහා මෙම නිවස සහ ඉඩම වහාම පවරා දෙන ලෙස සිසුන් බලකර සිටී. මීට පෙර අධිකරණය විසින් මෙම දේපොළ වෙන්දේසි කිරීමට ද නියෝග කර තිබුණි.














