“ෆ්‍රෙන්ඩ්ස්” (Friends) කතාමාලාවේ රංගන ශිල්පී මැතිව් පෙරීගේ මරණයට හේතු වූ කෙටමින් (ketamine) නැමැති ඖෂධය ලබාදීම සහ ඊට අදාළ කුමන්ත්‍රණයට වරදකරු වූ ඔහුගේ පුද්ගලික සහායක කෙනත් ඉවාමාසාට වසර 3යි මාස 5ක සිර දඬුවමක් නියම කර තිබේ.
ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයේදී විනිසුරු ෂෙරිලින් පීස් ගානෙට් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, මීට අමතරව ඔහුට වසර දෙකක පරිවාස කාලයක් සහ ඇමරිකානු ඩොලර් 10,000ක දඩයක්ද නියම කෙරිණි.
මැතිව් පෙරීගේ මරණය සම්බන්ධයෙන් වසර 2 හමාරක් පුරා පැවති විමර්ශනවල අවසාන තීන්දුව මෙය වන අතර, 60 හැවිරිදි ඉවාමාසා මෙම නඩුවේදී රජයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙසද කටයුතු කළේය.
විනිසුරු ගානෙට් මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, ඉවාමාසා මැතිව් පෙරීගේ ඇබ්බැහිවීම පිළිබඳව මනාව දැන සිටි බවත්, ඔහුගේ මරණයට පෙර දිනවල ඔහු සිදු කළ ක්‍රියාකාරකම් නොසැලකිලිමත් සහ වගකීම් විරහිත බවත්ය. ඉවාමාසාට එම අවස්ථාවේදී “නැත” යැයි පැවසීමට අවස්ථාව තිබූ බවද විනිසුරුවරිය අවධාරණය කළාය.
මැතිව් පෙරීගේ මව වන සුසාන් මොරිසන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපියක සඳහන් කර ඇත්තේ, තම පුත්‍රයාගේ ඇබ්බැහිවීමට එරෙහි සටනේදී ඔහුට ආරක්ෂකයෙකු වීමට සිටි පුද්ගලයා විශ්වාසය කඩ කරමින් ඔහුගේ නරකම පුරුදු දිරිමත් කළ බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ වෛද්‍ය සැල්වදෝර් ප්ලැසෙන්ෂියා සහ එරික් ෆ්ලෙමින් යන අය මීට පෙර අදාළ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී ඇත.
















