අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ චෝදනා හේතුවෙන්, ඔහුට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් කොමිසමේ සභාපති විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවෙල මහතා වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.
2026 මැයි 26 දිනැතිව යොමු කළ මෙම ලිපිය මගින්, අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ලෙස හා පක්ෂග්‍රාහීව සිය රාජකාරි කටයුතු ඉටු කරන බවට පැමිණිලි ලැබී ඇති බව පෙන්වා දෙයි. දූෂණ විරෝධී පනතේ 19 (2) (අ) හා (ඉ) වගන්ති අනුව, බරපතළ විෂමාචාරයක නිරත වන හෝ තම වගකීම් පැහැර හරින අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුට එම තනතුරේ රැඳී සිටිය නොහැකි බවත්, ඔහුට එරෙහිව පියවර ගැනීමට කොමිෂන් සභාවට පූර්ණ බලතල ඇති බවත් ඔවුන් අවධාරණය කරයි.
මෙම ඉල්ලීම සඳහා මූලික හේතුව වී ඇත්තේ, මියගිය කපිල චන්ද්‍රසේන මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක සඳහන් තොරතුරුය. එම දිවුරුම් ප්‍රකාශයට අනුව අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනාත්මක ස්වරූපයෙන් අමතා ඇති බව.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අයගේ නම් අදාළ සිදුවීමට සම්බන්ධ කර ප්‍රකාශ කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා බලපෑම් කළ බව.කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නඩුව සම්බන්ධයෙන් සිදුවූ බව කියන සිදුවීමක් උපුටා දක්වමින් තමන්ට තර්ජන එල්ල කළ බව.මෙම චෝදනා සත්‍ය නම්, එය අල්ලස් කොමිෂන් සභාව කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට හේතුවන බවත්, රංග දිසානායක මහතාගේ ක්‍රියා කලාපය බලවත් විෂමාචාරයක් බවත් ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි. එම දිවුරුම් ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව විමර්ශනය කර බලා, නීත්‍යනුකූල පියවර ගැනීම කොමිෂන් සභාවේ පරම වගකීම බව ඔවුන් එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටී.
















