ස්විස්ටර්ලන්තයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ටූසිස් (Thusis) නැමැති ඇල්පයින් නගරයේ පිහිටි අවන්හලක් සහ නිවාස සංකීර්ණයක් සහිත ගොඩනැගිල්ලක ඇති වූ හදිසි ගිනිගැනීමකින් පුද්ගලයන් 5 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර, තවත් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් 14 දෙනෙකු ආරක්ෂිතව පිටතට පැමිණ ඇති අතර තුවාල ලැබූවන් අතුරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 100 දෙනෙකු පමණ යොදවා ඇති අතර, ගොඩනැගිල්ලේ පඩිපෙළ කඩා වැටීම හේතුවෙන් ගිනි නිවන භටයින්ට ක්‍රේන් යන්ත්‍ර යොදාගනිමින් වහල විවෘත කර මෙහෙයුම් කිරීමට සිදුවී ඇත. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ස්විස් බලධාරීන් සහ පොලිසිය මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබේ.















