බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කරමින් “කැල්ටෙක්ස්” (Caltex) සහ “ඩෙලෝ” (Delo) යන ලෝක ප්‍රකට වෙළඳ නාම අනුකරණය කරමින් ලිහිසි තෙල් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවි කිරීම සිදු කළැයි කියන මාවනැල්ලේ සහ කෑගල්ලේ වෙළඳ ආයතන දෙකක හිමිකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට මාවනැල්ල සහ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය.කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මාවනැල්ලේ “එස්.එෆ්. මාර්කටින්” සහ කෑගල්ලේ “ජේ.ඩබ්ලිව්. ඔටෝ” ආයතනවල හිමිකරුවන් මෙලෙස රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිණි. සැකකරුවන් සතුව තිබී ව්‍යාජ එන්ජින් ඔයිල් අඩංගු බැරල් කිහිපයක් සහ අදාළ වෙළඳ නාම සහිත ලේඛන ද පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයේදී අවධාරණය කළේ, මෙවැනි ව්‍යාජ නිෂ්පාදන භාවිතය හේතුවෙන් වාහනවල එන්ජින්වලට හානි සිදුවීම, යාන්ත්‍රික දෝෂ ඇතිවීම සහ විමෝචනය වැඩිවීම වැනි බරපතළ හානි සිදුවිය හැකි බවයි. පාරිභෝගිකයා නොමග යවමින් සිදුවන මෙම අපරාධය හේතුවෙන් වාහන හිමිකරුවන් මහත් අවදානමකට ලක්වන බව ද ඔවුන් පෙන්වා දුන්හ.සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගතිය අගෝස්තු 25 වන දින මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව නොවැම්බර් 02 දින කැඳවීමටත් නියෝග කෙරිණි.
















