ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව විධිමත්ව සපුරාලීම අරමුණු කරගනිමින් රුපියල් මිලියන 160ක පිරිවැයකින් ක්‍රියාත්මක වන මැදවෙල ජල පවිත්‍රාගාර ව්‍යාපෘතියට මුල්ගල තැබීම ඊයේ (26) සිදුකර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ පූර්ණ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දිනකට ජලය ඝන මීටර 2,000ක ධාරිතාවකින් යුත් පූර්ණ ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කෙරේ. මැදවෙල, දවුල්දෙන, කරගහ උල්පත සහ කැටගොඩ යන ප්‍රදේශ ආවරණය වන මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ පාරිභෝගිකයින් 5,292කට ආසන්න සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ හිමිවීමට නියමිතය.
මෙම පූර්ණ පිරිපහදු පද්ධතිය සඳහා වායුකරණ ඒකකය, කැටිතිකරණ ටැංකිය, අවසාදිත ටැංකිය, වේගවත් වැලි පෙරහන, කාර්යාල හා රසායනික ගොඩනැගිල්ල මෙන්ම පසු සේදීම් සහ ජල පොම්පාගාරය ඇතුළු සියලුම ප්‍රධාන ඒකකයන් ඇතුළත් කර ඇත. මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම මගින් ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක සිට පැවති පානීය ජල ගැටලුවලට නිත්‍ය විසඳුම් ලැබෙනු ඇත.
මෙම මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, ඌවපරණගම ප්‍රාදේශීය සභා සභාපති දිනදාස රත්නායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින්, ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.














