කාන්තා සහ දරුවන්ගේ පෞද්ගලික ඡායාරූප හා ලිංගික අන්තර්ගතයන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදලට මිලදී ගැනීම සහ අලෙවි කිරීමේ ජාලයක් සම්බන්ධයෙන් කාන්තා හා කටයුතු අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමු කර තිබේ.
මූලික විමර්ශනවලින් අනතුරුව, මේ වන විට අදාළ තොරතුරු සහ සාක්ෂි වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇති බව අමාත්‍යාංශය පවසයි.
මෙම ජාලය හරහා ඇතැම් පිරිස් ව්‍යාජ ගිණුම් භාවිතා කර තමන්ට හුරුපුරුදු පුද්ගලයන්ගේ ඡායාරූප හා වීඩියෝ අලෙවි කිරීමට උත්සාහ කර ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී පවුම්වල සාමාජිකාවන්ගේ රූප පවා අවභාවිත කර ඇති බවත් අනාවරණය වී ඇත. එපමණක් නොව, මෙම කණ්ඩායම්වලින් බහුතරයක් විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන බවටද බලධාරීන් විසින් හඳුනාගෙන තිබේ.
දරුවන් සහ කාන්තාවන් මාර්ගගත (Online) අපයෝජනවලින් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් සහ භාරකරුවන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටින අතර, යම් අකටයුත්තකට හෝ හානිකර අන්තර්ජාල හැසිරීමකට මුහුණ දී ඇති පාර්ශ්ව වෙතොත් 1938 (කාන්තා සහන සේවා) සහ 1929 (ළමා ආධාරක සේවා) යන නොමිලේ ඇමතිය හැකි දුරකථන අංක ඔස්සේ මනෝ සමාජීය උපදේශන සහ නීතිමය ආධාර ලබා ගත හැකි බව දන්වා සිටියි.














