බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් 16 දෙනෙකුට ලබා දී ඇති ස්ථාන මාරුවීම් වහාම අත්හිටුවන ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය ඉල්ලා සිටී.
එක් සේවා ස්ථානයක වසර ගණනාවක් සේවය කිරීම පදනම් කරගනිමින්, 2026 වසරේ ස්ථාන මාරු සමාලෝචන කමිටුවේ නිර්දේශ මත මෙම මාරුවීම් සිදු කර ඇත. කෙසේ වෙතත්, මෙම මාරුවීම් සිදු කිරීමේදී රෝගීන්ගේ යහපත, සේවා අවශ්‍යතා, කාර්ය සාධනය හෝ ආයතනික කාර්යක්ෂමතාව වැනි කරුණු නොසලකා හැර ඇති බවට එම සංගමය චෝදනා කරයි.
එබැවින්, අදාළ ස්ථාන මාරුවීම් වහාම අත්හිටුවා, නවීන මානව සම්පත් කළමනාකරණ මූලධර්මවලට අනුකූලව නව ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා, එම සංගමය බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.














