ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනී මියොන් ලී (H.E. Miyon Lee) මහත්මිය සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා අතර හමුවක් පසුගියදා (ජූලි 01) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. විශේෂයෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රය, යුධ පුහුණුව, හුවමාරු වැඩසටහන්, ධාරිතා සංවර්ධනය සහ කලාපීය ස්ථාවරත්වය පිළිබඳව දෙපාර්ශවය අතර පුළුල් ලෙස සාකච්ඡා විය.
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා කොරියාවේ පුහුණු අවස්ථා පුළුල් කිරීම, ආරක්ෂක ප්‍රදර්ශන සහ ජාත්‍යන්තර එක්ස්පෝ වැඩසටහන් සඳහා සහභාගී වීම මෙන්ම ඒකාබද්ධ යුධ අභ්‍යාසවල නිරත වීමේ හැකියාවන් පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගනු ලැබීය.
ශ්‍රී ලංකාවට කොරියානු ජනරජයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය අගය කළ ආරක්ෂක ලේකම්වරයා, දෙරට අතර ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් කිරීමට සිය කැපවීම ප්‍රකාශ කළේය. තානාපතිනී මියොන් ලී මහත්මිය ද ඒ සඳහා තම රටේ පූර්ණ සහයෝගය සහ කැපවීම නැවතත් තහවුරු කළාය.














