මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් සොරා ගත් බව කියන ඔහුගේම සේවකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබී සොරාගත් මුදල්වලින් රුපියල් ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
ව්‍යාපාරිකයා තම පවුලේ අය සමඟ වෙසක් නිවාඩුවට කතරගම වන්දනාවේ ගොස් සිටි අතරතුර මෙම සොරකම සිදු කර ඇත. ව්‍යාපාරිකයා නිවසින් පිටත්ව ගිය පසු නැවත නිවසට පැමිණි සැකකාර සේවකයා කාමරයක තිබූ මුදල් සොරාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන සිදු කරමින් සිටියදී, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත වෙනත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ සොරකම ගැන තොරතුරු අනාවරණය වී ඇත. පසුව නිවසේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරුගේ අනන්‍යතාවය තහවුරු විය.
සොරාගත් මුදල්වලින් ඔහු ඉඩමක් මිලදී ගැනීමට සැලසුම් කර තිබූ බවත්, පලා යාමේදී විවිධ ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරමින් අලව්ව ප්‍රදේශයේ නවාතැන් ගෙන තිබූ බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, හැලමඩ, සේවාලෙගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















