ලෝකයේ දුම්කොළ භාවිතය නිසා සිදුවන මරණ ශීඝ්‍රයෙන්ම ඉහළ යමින් තිබූ නේපාලයේ සහ වසර ගණනාවක් තිස්සේ සිගරට් බදු සහ භාවිතය එකතැන පල්වෙමින් තිබූ ශ්‍රී ලංකාවේ, එම මාරාන්තික තත්ත්වයන් පාලනය කරමින් සිගරට් බදු සාර්ථකව ඉහළ නැංවීමට ක්‍රියා කළ සූක්ෂ්ම දේශපාලන හා ප්‍රතිපත්තිමය උපායමාර්ග පිළිබඳව ජාත්‍යන්තර විශ්ලේෂණයක් ප්‍රකාශයට පත් කර තිබේ. පිළිකා පර්යේෂණ ආයතනය (Cancer Research UK) මඟින් අරමුදල් සැපයූ පස් අවුරුදු වැඩසටහනක් හරහා බ්‍රිතාන්‍යයේ ‘කිවූ ඉන්ටර්නැෂනල්’ ආයතනය, ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) සහ නේපාල සංවර්ධන පර්යේෂණ ආයතනය (NDRI) සමඟ එක්ව මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නේපාලයේ සිගරට් සුරාබදු 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් ද, ලංකාව තුළ 2023 ජනවාරි (20%), 2023 ජූලි (20%) සහ 2024 ජනවාරි (14%) වශයෙන් අඛණ්ඩව බදු ප්‍රතිශතයන් ද ඉහළ නංවා ගැනීමට හැකි වී ඇත.
මෙම වාර්තාවට අනුව, ලංකාව සහ නේපාලය එකම ප්‍රතිපත්තිමය අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ ද, රටවල් ද්විත්වයේ පැවති දේශපාලන වටපිටාව මුළුමනින්ම වෙනස් වූ බැවින් ඒවාට මුහුණ දුන් ආකාරය ද එකිනෙකට වෙනස් වේ. ලංකාවේ පැවති දැඩි මධ්‍යගත දේශපාලන ක්‍රමය සහ දරුණු ආර්ථික අර්බුදය දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගත් මෙරට විද්වතුන්, සිගරට් බදු වැඩි කිරීම හුදෙක් සෞඛ්‍ය උපදෙසක් ලෙස නොව රජයට මුදල් උපයාගත හැකි හොඳම ‘ආදායම් මාර්ගයක්’ ලෙස පාලකයන්ට ඒත්තු ගැන්වීමට පියවර ගත්හ. රජය පොදු විවේචන දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ වටපිටාවක, IPS ආයතනය ප්‍රසිද්ධියේ මාධ්‍ය සංදර්ශන පවත්වනවා වෙනුවට, ඉතා සැලකිලිමත් සහ විශ්වසනීය ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අභ්‍යන්තර සාකච්ඡා (Insider Advocacy) පවත්වමින් ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලධාරීන් පොළඹවා ඇත.
නේපාලය තුළ නිතර නිතර ආණ්ඩු මාරුවන අස්ථාවර දේශපාලන වටපිටාවක් පැවති බැවින්, එහි පර්යේෂකයන් විසින් සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ එක හා සමාන දුරකින් තබාගනිමින්, කවුරුන් බලයට පත්වුව ද තමන් සතු සබඳතා උපයෝගී කරගෙන බදු ඉහළ දැමීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට කටයුතු කර තිබේ. මේ සඳහා හිටපු පරිසර හා සෞඛ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සෘජු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා භාවිත කරමින්, අයවැය සකස් කරන රහසිගත සංවෘත කාමර තුළටම ගොස් තීරණ ගන්නන් දැනුවත් කිරීමට ඔවුන් සමත් වී ඇත. ලංකාවේ IPS ආයතනය ද අර්බුදකාරී දේශපාලන වටපිටාව මනාව විශ්ලේෂණය කරමින්, ජනාධිපතිවරුන් තිදෙනෙකු මාරු වූ වසර පහක කාලය තුළ එක් එක් පාලකයාගේ පුද්ගලික උනන්දුව සහ කැමැත්ත හඳුනාගෙන (Thinking and Working Politically), බදු පණිවුඩය ඒ ඒ පුද්ගලයාට ගැළපෙන සේ සකස් කර ඉදිරිපත් කරමින් මෙම බුද්ධිමත් ජයග්‍රහණය අත්කරගෙන ඇති බව ජාත්‍යන්තර වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
















