දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් ඇති වී මාස 05ක් ගතවී ඇතත්, උඩුදුම්බර මීමුරේ ගම්මානයට ප්‍රවාහන සේවා සපයන බස්රථ සේවාව මෙතෙක් ආරම්භ වී නොමැති බව වාර්තා වේ. මේ හේතුවෙන් පවුල් 400ක පමණ ජනතාවක් වෙසෙන එම ප්‍රදේශයේ වැසියන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මාර්ගය නිසි ලෙස ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් මීමුරේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරයට ද දැඩි බාධා එල්ල වී තිබේ. හානියට පත් මාර්ගය වහාම සකසා දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳව කළ විමසීමකදී උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් එන්. ජයමිණි මහත්මිය සඳහන් කළේ සුළි කුණාටුවෙන් මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවයි. බස් රථ ධාවනය ආරම්භ කිරීම සඳහා භූ විද්‍යා ඇතුළු අදාළ ආයතනවලින් වාර්තා කැඳවා මාර්ගය ආරක්ෂිත ලෙස යළි සකස් කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.
දැනට ලංගම බස් රථයක් ධාවනය වන්නේ විල්වත්ත ප්‍රදේශය දක්වා පමණි.
එතැන් සිට මීමුරේ දක්වා දිනකට ගමන් වාර හයක් ක්‍රියාත්මක වන පරිදි වෑන් රථ තුනක් යොදවා මහජනතාවට ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ද වාර්තා වේ.














