ශ්‍රී ලංකාවේ වකුගඩු ගල් රෝගයෙන් පීඩා විඳින රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ අරමුණින් ඉදිකළ මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (12) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. රට පුරා වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා දැනට පවතින 5,000කට අධික පොරොත්තු ලේඛනය අවම කිරීම සහ රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම මෙම මධ්‍යස්ථානයේ මූලික අරමුණයි.
මෙම මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සහාය ඇතිව, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරයෙකුට තම රෝගීන් මෙහි රැගෙන විත් නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණය සහ උපකරණ භාවිතයෙන් ශල්‍යකර්ම සිදු කිරීමට අවස්ථාව හිමිවේ. වසර 20ක් තිස්සේ ඇනහිට තිබූ මෙම ව්‍යාපෘතිය මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කර ජනතා අයිතියට පත් කිරීම විශේෂත්වයකි. මෙම ව්‍යාපෘතිය සඳහා ව්‍යවසායක ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා ද නවීන උපකරණ සහ තාක්ෂණික පහසුකම් ලබාදෙමින් අනුග්‍රහය දක්වා ඇත.
උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රෝහල්වල පවතින ඌණ උපයෝජිත ගොඩනැගිලි සහ උපකරණ උපරිම ධාරිතාවයෙන් ජනතා සේවයට යොමු කිරීමේ වැදගත්කමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















