ලොව අඩුම උපත් අනුපාතයක් වාර්තා කරන දකුණු කොරියාව, එම බරපතළ ජනගහන අර්බුදයෙන් මිදීම සඳහා රජය සහ ආගමික ආයතන එක්ව විවිධ වැඩපිළිවෙළ දියත් කර තිබේ. දකුණු කොරියාවේ සශ්‍රීකත්ව අනුපාතය 0.72ක් වැනි ඉතා පහළ මට්ටමකට වැටී ඇති අතර, ඒ සඳහා ඉහළ ජීවන වියදම, නිවාස ගැටලු සහ තරුණ පරපුර විවාහය කෙරෙහි දක්වන අල්ප උනන්දුව ප්‍රධාන හේතු වී ඇත.
මෙම අර්බුදයට විසඳුමක් ලෙස රජය විසින් දීර්ඝ දෙමාපිය නිවාඩු, මූල්‍ය දීමනා සහ සහන මිලට නිවාස ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඊට ශක්තියක් වෙමින් දකුණු කොරියාවේ ප්‍රසිද්ධ බෞද්ධ පන්සලක් වන ‘ඩොන්ග්වාසා’ පන්සල, තනිකඩ තරුණ තරුණියන් සඳහා එකිනෙකා හඳුනා ගැනීමේ විශේෂ හමුවීම් සහ විවාහ මංගල්‍ය උත්සව සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන් මගින් තරුණ දෙපාර්ශ්වය අතර අවබෝධය ගොඩනඟා විවාහය දක්වා ඔවුන් යොමු කිරීමත්, ඉන් අනතුරුව දරුවන් ලැබීමේ වැදගත්කම පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමත් සිදු කෙරේ. මෙම ඒකාබද්ධ ප්‍රයත්නයන් හේතුවෙන් පසුගිය වසර දෙකක කාලයට සාපේක්ෂව අවිවාහක පුද්ගලයන්ගේ විවාහ වීමේ සහ දරුවන් බිහිකිරීමේ කැමැත්ත 10%ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව මාර්තු මාසයේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
















