සංචාරකයින් 2,380 දෙනෙකු රැගත් මෝල්ටා (Malta) ධජය සහිත “Mein Schiff 6” සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. දිගින් මීටර් 295ක් සහ පළලින් මීටර් 42ක් වන මෙම දැවැන්ත නෞකාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තයේ (ECT) නැංගුරම් ලා ඇති අතර එහි 951 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද සිටිති. පැමිණි සංචාරකයින් වෙනුවෙන් විශේෂ සංස්කෘතික කලා සංදර්ශන ඇතුළත් පිළිගැනීමේ වැඩසටහන් සංවිධානය කර ඇති අතර, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට මෙන්ම කොළඹ නගරය තුළ සංචාරය කිරීම සඳහා පාපැදි පහසුකම් ද සලසා දී ඇත.
මෙම නෞකාව මීට පෙර හම්බන්තොට වරායට ද සේන්දු වූ අතර, එහිදී සංචාරකයින් යාල, බූන්දල, උඩවලව, කතරගම සහ හම්බන්තොට අවට ප්‍රදේශවල සංචාරය කර තිබුණි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වටපිටාව හේතුවෙන් මෙරටට සංචාරක පැමිණීම් තරමක අඩුවීමක් පැවතියද, මෙලෙස ජාත්‍යන්තර සුඛෝපභෝගී මගී නෞකා දිවයිනට පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නැවත සක්‍රීය වීමට ප්‍රබල පිටුවහලක් වනු ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය විශ්වාසය පළ කරයි.
















