දිවයිනේ වෙරළ කලාපය තුළ පවතින අපද්‍රව්‍ය කළමනාකරණ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම නිසා ඇති වී තිබෙන ගැටලුවලට විසඳුමක් ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නව පියවර කිහිපයක් ගෙන ඇත.
වෙරළ සහ ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ජාතික කමිටුව සහ පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගනිමින් ප්‍රාදේශීය කමිටු 84ක් ස්ථාපිත කර තිබේ. අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ගංගා සහ ඇළ දොළ ඔස්සේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එක්වීම සහ ධීවර වරාය ආශ්‍රිතව ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කිරීම නිසා බරපතල පාරිසරික, සමාජීය සහ සෞඛ්‍ය ගැටලු මතුව ඇත. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සකස් කර ඇති ‘වෙරළ හා ධීවර වරායයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන යෝජනාවලිය’ ක්‍රියාවට නැංවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. මෙම වගකීම් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා ජංගම යෙදවුමක් (mobile app) භාවිතයට ගැනීමට පියවර ගෙන ඇත. ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම සඳහා ‘නිෂ්පාදකයාගේ විස්තීර්ණ වූ වගකීම’ යන මූලධර්මය හඳුන්වා දීමටත්, ඒ සඳහා අදාළ පනත් සංශෝධනය කිරීමටත් තීරණය කර තිබේ.















