රටක් ලෙස අභියෝග රැසකට මුහුණ දී සිටින බවත්, ආර්ථික සහ සමාජීය පරිහානිය හේතුවෙන් දසලක්ෂ ගණනක් ජනතාවට එදිනෙදා වේල් පිරිමසා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. බෙල්ලන්විල රජමහා විහාරයේ වෙසක් කලාපය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
කර්මාන්ත කඩා වැටීම, ඉන්ධන සහ විදුලි බිල ඉහළ යාම වැනි පසුබිමක ආර්ථික අපහසුතා ඇති ජනතාවට සහන ලබා දෙමින් ඔවුන්ගේ සුබසාධනය උදෙසා සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය.
වෙසක් උත්සවය සමරන අතරතුර සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ මෙරට ඉතිහාසය හා සංස්කෘතිය රැකගැනීම පුරවැසියන් සතු විශේෂ වගකීමක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, සෙසු ආගමික හා සංස්කෘතික කොටස් සුරක්ෂිත කරමින් රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව රැකගැනීමට සැම උනන්දු විය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බුදු දහම උගන්වන දන්දීම, සුබසාධනය, සංවර්ධනය සහ අභියෝග හමුවේ අධිෂ්ඨානශීලිව කටයුතු කිරීම වැනි ධර්මිෂ්ඨ ගුණාංගවලින් යුතුව වෙසක් සැමරුම සාර්ථක කර ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඔහු කරුණු දැක්වීය.















