දිවයිනට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් අද (15) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම අඩු පීඩන කලාපය ඉදිරි පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කළද, පවතින අවදානම් තත්ත්වය පහව ගොස් නැත.
අද රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත්, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතියි.ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 193 ක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.කුඩා ගඟ, මගුර ගඟ සහ අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත්බිම් රැසකට (බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවර, දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල) සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම තවදුරටත් පවතියි.පවතින වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 19 ක වාන් දොරටු විවෘත කර ඇති බව ජල කලමනාකරණ ලේකම් කාර්යාලය පවසයි.බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 13 සඳහා නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් හෙට (16) පස්වරු 4:00 දක්වා දීර්ඝ කර තිබේ.














