කොළඹ නාගරික ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණවල වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ “මෙට්‍රෝ අප්ලිෆ්ට්” වැඩසටහනේ නව අදියරක් පසුගියදා ආරම්භ කෙරිණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ පිහිටි තෝරාගත් නිවාස සංකීර්ණ කිහිපයක් නවීකරණය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය ජූනි 20 වන දින දෙමටගොඩ, මිහිඳුසෙන්පුර සහ සියපත් සෙවන ඇතුළු කොළඹ 09 ප්‍රදේශයේ නිවාස සංකීර්ණවල ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.
මෙම චාරිකාවේදී ගිනි නිවීමේ පද්ධති, අපවහන පද්ධති, පොදු ප්‍රදේශවල ආලෝකකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය, ආරක්ෂක කැමරා පද්ධති සහ පොලිස් මුරපොළවල් ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයේ නිවාස 820ක් සඳහා රුපියල් මිලියන 24.9ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුකෙරේ. සියපත් සෙවන නිවාස සංකීර්ණයේ නිවාස 702ක් රුපියල් මිලියන 6.68ක වියදමින් වැඩිදියුණු කෙරෙන අතර, නිවාස සංකීර්ණ දෙකෙහිම අපවහන පද්ධති අලුත්වැඩියාව සඳහා අමතරව රුපියල් මිලියන 20.3ක් වෙන් කර ඇත.
නාගරික නිවාස යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ තදබදයක් පවතින නාගරික ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
















