මර්‌කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MI Finance) සමාගම සාර්ථක හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 1.1ක නව ප්‍රාග්ධනයක් උපයා ගැනීමට සමත්ව තිබේ. මූලික කොටස් නිකුතුවේ ප්‍රමාණය ඉක්මවා යමින් අධි ඉල්ලුමක් වාර්‌තා වූ මෙම හිමිකම් නිකුතුව සඳහා කොටස්හිමියන්ගේ ඉහළ සහභාගිත්වයක් හිමි වී ඇත.
මෙලෙස එක්රැස් කරගත් නව අරමුදල් මගින් සමාගමේ ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් වන අතර, මූල්‍ය නම්‍යශීලීතාව පුළුල් කිරීමට මෙන්ම නියාමන ප්‍රාග්ධන මට්ටමට සහයෝගය ලැබීමටද නියමිතය. මෙම හිමිකම් නිකුතුවේ උපදේශක සහ කළමනාකරු ලෙස First Capital Advisory Services සමාගම කටයුතු කළ අතර, SSP Corporate Services සමාගම එහි රෙජිස්ට්‍රාර් ලෙස කටයුතු කර තිබේ.
මෙම සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් MI Finance සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා සඳහන් කළේ, ලැබුණු ඉහළ ප්‍රතිචාරය මගින් සමාගමේ ක්‍රමෝපායික සැලසුම් කෙරෙහි කොටස්හිමියන් තබා ඇති විශ්වාසය තහවුරු වන බවයි. සවිමත් මූල්‍ය පදනම ඔස්සේ ශ්‍රී ලාංකේය මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ව්‍යාපාරික කටයුතු පුළුල් කරමින් කොටස්හිමියන්, පාරිභෝගිකයන් ඇතුළු සියලු පාර්‌ශ්වකරුවන්ට තිරසාර අගයක් හිමිකර දීමට සමාගම අපේක්ෂා කරයි.














