වීදි ලාබ නොලබන තරුණයකු මිත්‍රශීලී භූතයකු හමුවීම හෝ සමාජ පන්ති දෙකකින් පැමිණි යුවළක් සියලු බාධක ජයගෙන විවාහ වීම වැනි ක්ලිෂේ (cliche) කථා තේමාවන් සහිත කෙටි නාට්‍ය, වර්තමානයේ ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන විනෝදාත්මක අංගයක් බවට පත්ව තිබේ. මිනිත්තු දෙකකට අඩු කාලයකින් සමන්විත, එහෙත් කථාංග 50කට අධික සංඛ්‍යාවක් සහිත මෙම ‘මයික්‍රෝ-ඩ්‍රාමා’ (micro-dramas) නමින් හැඳින්වෙන කෙටි නාට්‍ය මාලාවන්, ජංගම දුරකථන හරහා නරඹන එදිනෙදා ජීවිතයේ විනෝදාත්මක කොටසක් බවට පත්ව ඇත.
චීනය, ඇමරිකාව සහ දකුණු කොරියාව වැනි රටවල දැඩි ජනප්‍රියත්වයක් දිනාගත් මෙම නාට්‍ය කලාව, මේ වන විට ඉන්දියාවේ විශාල නගර මෙන්ම කුඩා නගරවල ද මිලියන ගණනකගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබේ. හින්දි රූපවාහිනී නාට්‍යවලට සමාන අතිශයෝක්තියෙන් පිරි රංගන විලාසයන් සහ හුරුපුරුදු කථාංග සහිත මෙම නාට්‍ය, දවසේ කාර්යබහුල මොහොතක වුවද පහසුවෙන් නැරඹිය හැකි නිසා බොහෝ දෙනා ඒ සඳහා දායක මුදල් ගෙවා නරඹති.
2024 වසරේදී ඉන්දියාව තුළ ආරම්භ වූ මෙම කෙටි නාට්‍ය ව්‍යාපාරය මේ වන විට ඩොලර් මිලියන 300ක වෙළඳපොළ වටිනාකමක් අත්කරගෙන සිටින අතර, ලුමිකායි (Lumikai) ආයෝජන සමාගමේ වාර්තාවකට අනුව 2030 වසර වන විට එය ඩොලර් බිලියන 4.5ක වටිනාකමක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කුකු (Kuku) සහ රීලීස් (Reelies) වැනි දේශීය ආයතන සමාජ මාධ්‍ය දැන්වීම් හරහා මෙම කෙටි නාට්‍ය ඉන්දීය ප්‍රේක්ෂකයන් අතරට රැගෙන ගොස් ඇති අතර, මීට පෙර හුදු විලාසිතාවක් ලෙස සැලකුණු මෙම අංගය මේ වන විට ප්‍රධාන ධාරාවේ විනෝදාස්වාද මාධ්‍යයක් ලෙස ස්ථාපිත වෙමින් පවතී.














