කිරිපිටි, පැසවූ කිරි පාන (cultured milk drinks) සහ යෝගට් මිල ඉහළ ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) නිවේදනය කර තිබේ.
“උණුසුම් පුවත්” (Breaking News) ලෙස හැඩගස්වා ඇති අදාළ සමාජ මාධ්‍ය සටහනක දැක්වෙන්නේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 260කින්, පැසවූ කිරි පාන බෝතලයක් රුපියල් 40කින් සහ යෝගට් එකක් රුපියල් 20කින් ඉහළ ගොස් ඇති බවයි. එහෙත් මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.
යම් තොරතුරක් “උණුසුම් පුවත්” ලෙස ලේබල් කළ පමණින් එය සත්‍ය නොවන බව පෙන්වා දෙන අධිකාරිය, නිල හෝ විශ්වාසදායක මූලාශ්‍රයකින් තොරව එවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් හෝ හුවමාරු කිරීමෙන් වළකින ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ී සිටී. මෙවැනි අසත්‍ය තොරතුරු මඟින් පාරිභෝගිකයන් අතර අනවශ්‍ය අනියම් බියක් මෙන්ම වෙළඳපළ තුළ අනවශ්‍ය ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවා ඇත.
මිල වෙනස්වීම් පිළිබඳ වාර්තා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට පෙර නිල නිවේදන හරහා සත්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට උපදෙස් දී ඇති අතර, සැක සහිත මිල වැඩිවීම් හෝ වෙළඳපළ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ **1977** ක්ෂණික ඇමතුම් අංකය හරහා පැමිණිලි කරන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දන්වා සිටියි.
















