ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ දෙවන තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) පරදවා කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (29) සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, එහිදී පන්දුවට පහරදුන් UAE කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 19.5කදී ලබාගත හැකිවූයේ ලකුණු 79ක් පමණි. UAE පිල වෙනුවෙන් නායිකා ඒෂා ඕෂා ලකුණු 18ක් රැස්කළාය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සිය පළමු T20 තරගයට එක්වූ චේතනා විමුක්ති ලකුණු 16කට කඩුලු 3ක් සහ මිථාලි අයෝධ්‍යා ලකුණු 14කට කඩුලු 3ක් බැගින් දවාගත්තාය. එමෙන්ම, සුගන්දිකා කුමාරි කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
අනතුරුව, ලකුණු 80ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 7.5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය. නායිකා චමරි අතපත්තු නොදැවී ප්‍රහාරාත්මක ලකුණු 48ක් (පන්දු 25යි, හතරේ පහර 7යි, හයේ පහර 2යි) රැස්කළ අතර ඉමේසා දුලානි ලකුණු 25ක් ලබා ගත්තාය.
















