පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන මේ වන විට සාර්ථකව ඉදිරියට ගොස් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව එම කටයුතු නිසි ලෙස මෙහෙයවන බවත් ඔහු සඳහන් කළේය. අදාළ විමර්ශන පිළිබඳව අධිකරණය ද දැනුවත් කර ඇති අතර, නුදුරේදීම ඒවා අවසන් කිරීමට හැකි වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.
පාස්කු ප්‍රහාරයට අමතරව රටේ සිදුවූ සියලුම මූල්‍ය අවභාවිතයන්, අල්ලස්, දූෂණ සහ වංචා සම්බන්ධයෙන් ද පූර්ණ විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම එළඹෙන මැයි දින රැලිය වෙනුවෙන් රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.















