විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ත් 500ත් අතර පිරිසකගේ වැඩ තහනම් කර ඇති බවත්, ඔවුන්ගෙන් ඇතැම් පිරිසක් තවමත් වැටුප් ලබමින් සිටින බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්විය.
එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ නීතිමය තත්ත්වයන් සහ අධිකරණ ක්‍රියාමාර්ග නිසා ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, මෙලෙස වැඩ තහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස් රථවල රියදුරු වෘත්තියේ යෙදෙමින් අමතර ආදායම් උපයන බව ද නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියහ.
මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අදාළ නීති උපදෙස් කඩිනමින් ලබාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමේ පවතින ක්‍රමවේද නැවත සලකා බලන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එසේම ප්‍රවාහන ක්ෂේත්‍රයේ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වන අනු කාරක සභාවේ සහ දුම්රිය සේවය කාර්යක්ෂම කිරීම සඳහා වන අනු කාරක සභාවේ වාර්තා මෙහිදී ඉදිරිපත් කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල පවතින විවිධ ප්‍රදේශීය ගැටලු ද මන්ත්‍රීවරුන් විසින් මෙහිදී අවධානයට යොමු කළ අතර, ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
















