ගුරු සේවයේ පවතින ගැටලු විසඳීම සඳහා පියවරෙන් පියවර වැටුප් වැඩි කිරීමට රජය ප්‍රතිපාදන වෙන් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය. වනාතවිල්ලුව, නාග මඩුව මහා විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.ගුරු සේවය මෙරට වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාවක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.පවතින ගුරු හිඟය පියවීම සඳහා ගුරුවරුන් දහසකට අධික පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම බඳවා ගැනීම් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, විභාග සහ සම්මුඛ පරීක්ෂණ මත පදනම් වූ විනිවිදභාවයකින් යුතුව සිදු කෙරේ.අධ්‍යාපන ක්‍රමයේ නව වෙනසක් ලෙස 9 වසරේදී ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. එමගින් සිසුන්ට තමන්ගේ රුචිකත්වය අනුව ශාස්ත්‍රීය හෝ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර තෝරා ගැනීමට අවස්ථාව හිමිවන අතර, ඒ වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන 50ක් පමණ වැඩිදියුණු කිරීමට රජය පියවර ගෙන ඇත.
වයස අවුරුදු 12-16ත් අතර පසුවන පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් වර්තමානයේ ගම්මාන කරා පැමිණ ඇති මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා මහා සංඝ රත්නය, ගුරුවරුන් සහ දෙමාපියන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේයආපදා හේතුවෙන් පීඩාවට පත් දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා රජයෙන් රුපියල් 25,000ක මුදලක් ලබා දී ඇති අතර, මහපොළ ශිෂ්‍යත්වය ඇතුළු අනෙකුත් ශිෂ්‍යාධාර ද මේ වන විට වැඩි කර ඇත.














