බෙලරුසය සමඟ අධ්‍යාපන අංශයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එරට විදේශ අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී දෙරට අතර පවතින සබඳතා පශ්චාත් උපාධි අධ්‍යාපනය සහ විශේෂිත පුහුණුව දක්වා ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. බෙලරුසය යනු ශ්‍රී ලාංකික සිසුන් විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා තෝරා ගන්නා වැදගත් ගමනාන්තයක් වන අතර දැනට සිසුන් 3000කට වැඩි පිරිසක් එහි අධ්‍යාපනය ලබති.
වෛද්‍ය තාක්‍ෂණය, දැරිය හැකි මිලකට ඖෂධ සැපයීම සහ ඖෂධ නිෂ්පාදනය සඳහා ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. සෞඛ්‍ය කළමනාකරණ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම ආයුර්වේදය සහ සුවතාවය පිළිබඳ ශ්‍රී ලාංකික විශේෂඥ දැනුම බෙලරුසය සමඟ බෙදා ගැනීමට ඇති සූදානම ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම සාකච්ඡාවලට සමගාමීව, ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්ට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කර ඇත.
















