වර්තමාන සමාජයේ ජංගම දුරකතනයක් අස්ථානගත වීම හෝ සොරකම් කිරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. ජංගම දුරකතනයක් අහිමි වීම යනු හුදෙක් උපකරණයක් අහිමි වීමක් පමණක් නොව, එහි ඇති මූල්‍ය දත්ත, පෞද්ගලික ඡායාරූප සහ සංවේදී තොරතුරු නීති විරෝධී ක්‍රියා සඳහා භාවිත කිරීමට අපරාධකරුවන්ට අවස්ථාව ලැබීමකි. එබැවින් එවැනි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව දැනුවත් කරයි.
දුරකතනය අහිමි වූ වහාම අදාළ සේවා සපයන ආයතනය හරහා වහාම එහි ඇති සිම්පත අක්‍රිය කිරීමට කටයුතු කරන්න. එමගින් තෙවැනි පාර්ශ්වයකට එම දුරකතනය හරහා නීතිවිරෝධි කටයුතු කිරීමට ඇති අවස්ථාව අහිමි වන අතර, දුරකතනය නැවත සොයා ගැනීමටද එය පහසුවක් වේ.
ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගොස් වහාම පැමිණිල්ලක් වාර්තා කරන්න. පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී දුරකතනයේ IMEI අංකය සඳහන් කිරීම අතිශය වැදගත් වේ. දුරකතනයක් අස්ථානගත වීමට පෙර එහි IMEI අංකය සටහන් කර තබා ගැනීම අයිතිකරුගේ වගකීමකි. ඕනෑම දුරකතනයක *#06# යන කෙටි කේතය ඇතුළත් කිරීමෙන් මෙම අංකය පහසුවෙන් සොයාගත හැකිය.
අස්ථානගත වූ දුරකතන සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් ineed.police.lk
නමින් විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දී ඇත. දුරකතනයක් අහිමි වූ වහාම මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීම මගින් විමර්ශන කටයුතු කඩිනම් කරගත හැකිය. පොලීසියේ දත්තවලට අනුව මෙම මෙහෙයුම් ඉතා සාර්ථක වී ඇති අතර, පසුගිය වසර කිහිපය තුළ දහස් ගණන් අස්ථානගත වූ දුරකතන හිමිකරුවන්ට භාර දීමට පොලීසිය සමත් වී ඇත.
යම් අයෙකුට අයිතිකරුවෙකු නොමැති දුරකතනයක් හමු වුවහොත් එය ළඟ තබා ගැනීම ‘අපරාධී සාවද්‍ය පරිහරණය’ නම් වරද යටතට වැටෙන අතර, ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව ඒ සඳහා වසර දෙකක සිරදඬුවම් නියම විය හැකිය. එබැවින් අයිති නැති දේපළක් හමු වූ වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දී ඒ සඳහා සහතිකයක් ලබා ගන්න.
සොරකම් කරන ලද හෝ සොර බඩු බව දැන දැනම දුරකතන මිලදී ගැනීම සහ ළඟ තබා ගැනීම වසර තුනක සිරදඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි. පාවිච්චි කරන ලද දුරකතනයක් මිලදී ගැනීමට පෙර ineed පද්ධතියේ ඇති ‘Find Genuine Phone’ සංකල්පය හරහා එම දුරකතනය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීමට මහජනතාවට අවස්ථාව සලසා ඇත.














