27 April 2024
#දේශීය

අවශ්‍යතාව අනුව තෙවන එන්නත් ඇණවුම් කර ඇති බව ඇමැති කෙහෙලිය කියයි

තෙවන එන්නත් මාත්‍රවක් සම්බන්ධයෙන් අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කර ඇති බවත් එහි අවශ්‍යතාව අනුව අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එන්නත්රණයේ වැදගත්කම හා කොවිඩ් වෛරසයෙන් ජනතාව ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැක්වෙන වීඩියෝ පට (Video Clips) 02 ක් අද (08) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හඳුන්වා දීමේ අවස්ථාවේදීය.

මේ වන විට එන්නත්කරණයෙන් ලොව පළමු රටවල් 05 අතරට පත්ව ඇතැයිද ඒ අනුව එනනත්කරණය හා කොවිඩ් පාලනය අතුරින් ලොව සාධනීය ස්ථානයකට ශ්‍රී ලංකාව එක්ව ඇතැයිද අමාත්‍යවරයා පැවසිය.

වයස අවුරුදු 30 ඉක්ම වූ පිරිස් සඳහා වන එන්නත්කරණය 100% ක මට්ටමට අවසන්ව ඇතැයිද සමස්ත ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණය 55% ක් ඉක්මවා ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. අවුරුද 20 -29 අතර පිරිස් සඳහා වන එන්නත්කරණයද සාධනීය මට්ටමට පත්ව ඇතැයිද මේ වන විට සංකූලතා සහිත ළමුන් සඳහා වන එන්නත්කරණය නිසි ඉලක්කය සපුරාලමින් සිටින්නේයැයිද හෙතෙම කීයා සිටියේය.

පූර්ණ එන්නත්කරණයට ලක් වුවද අනතුරුව සමාජයට අනුගත වීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ කටයුතු කිරීම අත්‍යවශ්‍ය යැයිද අමාත්‍යවරයා කීය. ලොව සෑම රටකටම ඒ ඒ රටවල්හි ආර්ථිකය, ජනගහනය,භූමි ප්‍රමාණය, වත් පොහොසත්කම් කොවිඩ් ව්‍යසනයට අදාළ නොවූ බවත් , අද ඒ තුළ වැදගත් වනුයේ මෙය පාලනයට ගන්නා වූ වැඩපිළිවෙල පමණක් බවත් ඒ අනුව රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණය ඉමහත් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කොවිඩ් පාලනය කරන අතරතුරුම රටෙහි ආර්ථික වැඩපිළිවෙල ගෙනයාම මෙන්ම එය හසුරුවා ගැනීම අතිශය වැදගත් බවත් කුමන විවේචන එල්ල වුවද ඒ සඳහා වැඩපිළිවෙල සකස් වි යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් මෙන්ම අනෙකුත් ක්ෂේත්‍ර වල පිරිස් ලබාදුන් කැපකිරීම් වල ප්‍රතිඵලය වත්මන් කොවිඩ් පාලනය තුළින් භුක්ති විඳින බවත්,එය අනෙක් පැත්තට හරවන්නේද පුරවැසි කොටස් බවත් අමාත්‍යවරයා කීය.

කොවිඩ් සඳහා වන මෙරට ගෘහස්ථ ප්‍රතිකාර සේවය අතිශය සාර්ථක බවත් එය මේ වන විට ජාත්‍යන්තර පැසසුමට ලක් වෙමින් ආසියාවේ සාර්ථකම වැඩපිළිවෙලක් ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානයද හඳුනා ගෙන ඇතැයි ඒ මහතා කීය. එම ප්‍රතිකාර වැඩපිළිවෙල තුළින් 1.4% පමණ අමව පිරිසක් රෝහල්ගතව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

වෘත්තීය සමිති වලට ගරු කරන අතරම ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සැලකිලිමත් වන බවත් එනිසා මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට කවුරුන් හෝ මේ මොහොතේ ක්‍රියා කරන්නේ නම් මෙරට සෞඛ්‍ය පද්ධතියටත් පොදු මහජනතාවටත් සිදු කරන හතුරු කමක් හැටියට තමන් එය දකින්නේ යැයි රඹුක්වැල්ල මහතා කීය. ගෝලීය ව්‍යසනය මධ්‍යයේ රජයක් ලෙස මේ මොහොතේ දිය හැකි දෑ සීමා සහිත බවද එහෙත් අවශ්‍ය සෑම අවශ්‍යතාවක්ම සපුරාලමින් සිටින බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඇතැම් ක්ෂේත්‍රයන්හි පිරිස් පවතින අවස්ථාව දඩමීමා කරගනිමින් ක්‍රියා කිරීමට මේ මොහොතේ උත්සාහා කරන්නේ නම් එය කිසිසේත් නොකළ යුත්තක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව උද්ඝෝෂණ,විරෝධතා සිදු කරන බවට එම පිරිස් සඳහන් කළද එය එසේ නොකෙරෙන බවත්, එලෙස සිදු කිරීමට කිසිදු හැකියාවක්ද නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එම්.ආනල්ඩ්, වෛද්‍ය සුසී පෙරේරා යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *