27 April 2024
#දේශීය

සමානුපාතික ජන්ද ක්‍රමයක් යෝග්‍ය බව දේශපාලන පක්ෂ 03 ක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී යෝජනා කරයි

සමානුපාතිකභාවය පදනම් වූ ජන්ද ක්‍රමයක් රටට යෝග්‍ය බව “ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය” මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසිය.

ඒ ඊයේ (07) දින සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස් වු අවස්ථාවේදිය.

සමානුපාතික නියෝජන ක්‍රමය මඟින් ජනතාවගේ සාධාරණ නියෝජනය සහතික කළ හැකි බවත්,සෑම ජනතා ජන්දයකටම එම ක්‍රමය යටතේ වටිනාකමක් එකතු වන බවත් එම පක්ෂය කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

නව සංශෝධන තුළින් ස්ථාවර ආණ්ඩු බිහිවීමේ ශක්‍යතාවක් පැවැතිය යුතු සේම ප්‍රජාතන්ත්‍රවාදයද මනාවට තහවුරු විය යුතු බවද ඔවුහු සඳහන් කළහ.

දිවයිනේ සියලු භූගෝලීය සීමාවන් පදනම් කරගත් නියෝජනයන් නව සංශෝධනය තුළින් සිදුවිය යුතු බවද ඔවුහු අවධාරණය කළහ. මනාප ජන්ද ක්‍රමය මඟින් තමාට අවශ්‍ය ජනතා නියෝජිතයා තෝරා පත් කර ගැනීමට ජනතාවට හැකියාව පවති. ජන්ද පත්‍රිකාව ජනතාවට සරලව තේරුම්ගත හැකි වන පරිදි සැකසීමේ අවශ්‍යතාවද එම පක්ෂය කාරක සභාවේදී මතු කළේය. මැතිවරණ ක්‍රමයේ ස්ථාවරභාවය අනිවාර්‍ය සාධකයක් වන අතර, එය ජන්දදායකයාගේ දෘෂ්ටි කෝණයෙන් සැකසිය යුතු බවද ඔවුහු පැවසූහ.

සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් නොකර එහි අඩුපාඩු මඟහරවා ගනිමින් නව සංශෝධන සිදු කළ යුතු බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මතය බව ඔවුහු කාරක සභාවට දැනුම් දුන්හ.

අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේය. සුළුජන අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මැතිවරණ ක්‍රමයේ සංශෝධන සිදු විය යුතු බව ඔවුහු කාරක සභාවේදී පැවසූහ.

සමානුපාතික නියෝජන ක්‍රමය රටට වඩාත් යෝග්‍ය බවත්, එමඟින් ජනතා නියෝජනය ශක්තිමත් වන බවත් එම පක්ෂය කාරක සභාවේදී පෙන්වා දුන්නේය. පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු යන මැතිවරණ ත්‍රිත්වය සඳහාම සමානුපාතික නියෝජන ක්‍රමය යොදා ගත යුතු බව එම පක්ෂය කාරක සභාවේදී සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසුවේ සමානුපාතික නියෝජන ක්‍රමය රටට යෝග්‍ය බවයි. සමානුපාතික ජන්ද ක්‍රමයට අදාළව එහි මූලධර්ම වෙනස් කරමින් සංශෝධනයන් සිදු කරනු ලබන්නේ නම් විධායක ජනාධිපති ධූරයද අනිවාර්‍ය ලෙස සංශෝධනය විය යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කාරක සභාවේදී සඳහන් කළේය. කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය කාරක සභාවේදී පෙන්වා දුන්නාය. ජාතික ලැයිස්තුවෙන් සියයට 50ක් කාන්තාවන් විය යුතු බවටද ඇය කාරක සභාවේදී යෝජනා කළාය.

තීරණ ගන්නා මට්ටමේ සෑම අවස්ථාවකම කාන්තා නියෝජනය තහවුරු කළ යුතු බවත්, දේශපාලන සංස්කෘතියේ ඇති විෂමතා හේතුවෙන් දේශපාලනයේ කාන්තා නියෝජනය අවම වී ඇති බවත් ඇය කාරක සභාවේදී අවධාරණය කළාය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා,එම්.යූ.එම්.අලි සබ්‍රි යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්,රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්,එම්.ඒ.සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද නීතිපති දෙපාර්තමේන්තුව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරිහුද මේ අවස්ථාවට සහභාගී වූහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම් අද (08) පස්වරුවේ පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය

Leave a comment

Your email address will not be published. Required fields are marked *