විමල් වීරවංශ, පියංකර ජයරත්න, රාජිත සේනාරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන, චාමර සම්පත්, සරණ ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මර්වින් සිල්වා, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චම්පික රණවක, කෙහෙළිය රඹුක්වැල්ල සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ නඩු තීන්දු ඉදිරියේදී ඒමට හැකි බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ, රටේ බහුතරයක් ජනතාව දූෂිතයින්ට දඬුවම් ලැබෙනු දැකීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම මඟින් නඩු කටයුතු වේගවත් වී ඇති බවයි.
එමෙන්ම, රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ නඩු විභාග කඩිනම් කිරීම මඟින් දූෂණයට එරෙහි ජනතාවට ප්‍රසාදයක් ඇතිවන බවත්, කිසියම් නීතිමය ගැටලුවක් පවතී නම් නව නීති සම්පාදනය කර හෝ හොරුන්ට එරෙහිව දඬුවම් ලබා දීමට රජය කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














