මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේ පවතින අද්විතීය චමත්කාරය එක්ව ප්‍රවර්ධනය කිරීමෙන් සංචාරක ක්ෂේත්‍රය තුළ දෙරටෙහිම ජනතාවට විශාල ජයග්‍රහණ උරුම කරගත හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අමතමිනි.
දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාව, සංස්කෘතිකමය බැඳීම සියවස් ගණනාවකට ඈතට දිවෙන අතර භාෂාමය සමානකම් හේතුවෙන් දෙරටේ ජනතාව නිරන්තරයෙන්ම සමීප ගනුදෙනු සිදුකරයි. දේශගුණික විපර්යාස, මුහුදු මට්ටම ඉහළ යෑම සහ ගෝලීය ආර්ථික අර්බුද වැනි පොදු අභියෝග හමුවේ එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සඳහන් කළේ, මාලදිවයින් ඉතිහාසයේ දිගුකාලීන කොටස්කරුවකු වන ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රත්වය හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සැමරුමක් පමණක් නොව ජාතීන් දෙක එකට බැඳ තබන මානුෂීය බැඳීමක් බවයි.
එමෙන්ම, දෙරටේ අධ්‍යාපනය, පුහුණුව සහ තාක්ෂණය යන අංශවල අවස්ථා නිර්මාණය කරමින් බැඳීම තවදුරටත් ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ඇතුළු අමාත්‍යවරුන් සහ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














