27 April 2024
#සංවර්ධන

බස් මගී ප්‍රවාහන සේවාවේ දියුණුවට පියවර රැසක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් කියයි

කොවිඩ් වසංගත සමයේ පෞද්ගලික බස්රථ හිමියන්ගේ ආදායම පහළ බැසීම නිසාවෙන් ප්‍රවාහන අධිකාරිය සහ ගමනාගමන කොමිසමෙහි දැනට ලියාපදිංචි වී ඇති සමස්ථ බස්රථ 18,000 සඳහා සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ බස්රථ රියැදුරන් සහ රියැදුරු සහායකයින් ඇතුළු බස්රථ සේවකයින් කොවිඩ් තර්ජිත කණ්ඩායමක් බවත් ඔවුන්ගෙන් 80% ක් ආවරණය වන පරිදි පළමු එන්නත දී ඇති අතර දෙවන එන්නත 50%කට පමණ ලබාදී ඇති බවයි. එසේම ඉතිරි සියලු සේවකයින්හට කඩිනමින් කොවිඩ් එන්නත දෙන බව හෙතෙම පැවසිය.

ගම්සැරිය වැඩසටහන මගින් ගමේ සිට ප්‍රධාන නගර වෙත ජනතාව ගෙනයන බස් සේවාව, නගර බස් සේවාව (City Bus Service) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා දැනටමත් බස්රථ 600ක් ඇනවුම් කරඇති බවත්, සතොස සමග එකතු වී ඉන්ධන පිරවුම්හල් 107ක් ඉදිකොට ඒවා සියළුම බස්රථවලට සහ ජනතාවටද විවෘතව තබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බස්රථ ධාවනයට සුදුසු තත්ත්වයක පවතීද යන්න සොයා බැලීමට යෝග්‍යතා පරීක්ෂණ කිරීම සඳහා පහසුකම් සලසන බවත් සතොස සමග එකතු වී රටපුරා අමතර කොටස් අළෙවි සැල් (outlets) විවෘත කිරීමට ක්‍රියා කරන බවත් අමුණුගම මහතා පැවසීය. ඒ සඳහා දැනටමත් යන්ත්‍රසූත්‍ර ගෙන්වා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් අතර බස්රථවල ගමන් ගන්නා මගීන්ට ගිමන් නිවන ස්ථාන හඳුන්වාදෙමින් ආහාර අළෙවි සැල් ජාලයක් ලංගම මගින් සිදුකිරීමට අදාළ මූලික කටයුතු අවසන් කර ඇති බවත් එය ලබන වසර මුල ආරම්භ කරන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක මැතිතුමාගේ කාලයේ අපේ රටේ බස්රථ සහ ඒවාට අවශ්‍ය ටයර්, බැටරි, එන්ජින් ආදිය නිපදවන කර්මාන්තශාලා තිබුණු බැවින් නැවතත් එම කර්මාන්තශාලා ගොඩනැගීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් අමුණුගම මහතා කීය.

1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් පාසල්වලට ගෙනයාමට සහ නැවත නිවසට ගෙන ඒමට පෙර ගෙවුම් ක්‍රමයට වෙනම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, ඒවායේ සේවය සඳහා පාලක පාලිකාවන් බඳවා ගනු ලබන්නේ පෙරපාසල් පිළිබඳ පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන් බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *