27 April 2024
#දේශීය

අසීරු අවස්ථාවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහය වන්නැයි ඇමැති ප්‍රසන්න ගුරුවරුන්ගෙන් ඉල්ලයි

රටේ අනාගතය භාරගන්නා දූ දරුවන් නිසි මගට යොමු කරන ගුරුවරුන් නිසි ඇගැයීමක් කළ යුතුව ඇතැයි යන ස්ථාවරයේ සිට කැබිනට් අනු කමිටුව කටයුතු කළ බව අනු කමිටු සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) මිනුවන්ගොඩ ගුරු සංගම් සමග පැවති සාකච්ඡාවකදීය.

ගුරු විදුහල්පති සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමට සහ ඉදිරි අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙනතෙක් රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

වසංගත තත්වය හේතුවෙන් පාසල් වසා දැමූ නමුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ ගුරුවරු දැක්වූ දායකත්වය අගය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන අනු කමිටුව ගුරු සංගම් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම වැටුප් විෂමතාවයට නිසි විසඳුම් ලබාදීය යුතු බව විපක්ෂයේ සිටින අවදියේ සිට අවධාරණය කළ බවද සිහිපත් කළ අමාත්‍යවරයා සෞභාග්‍යයෙ දැක්ම වැඩපිළිවෙළ තුළින් ජනතාවට පොරොන්දු වූ බොහෝ දේවල් මෙතෙක් ඉටු කිරීමට නොහැකි වූයේ නව රජය පත්වූ දා සිට බලාපොරොත්තු නොවූ අන්දමේ ලෝක වසංගතයකට මුහුණදීමට සිදුවීම යැයිද පෙන්වා දුන්නේය.

එවැනි තත්ත්වයක් තුළත් ගුරුවරුන්ගේ සේවය ඇගයීමක් ලෙස රජය මෙම තීරණ වලට එළඹි බව ද සඳහන් කරන අමාත්‍යවරයා අසීරු අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උවමනාවන්වලට හසු නොවී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා දක්වන්නැයි ද විශේෂ ඉල්ලීමක් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *