2026 ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් චීනයේ ගුඅන්ෂි හි නැන්නින් නගරයේ පැවැත්වෙන ප්‍රධාන සමුළුවට සහභාගී වීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (19) චීනය බලා පිටත්ව ගියේය. මැයි 20 සිට 23 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වන අමාත්‍යවරයා, හෙට (21) යෙදෙන ජාත්‍යන්තර තේ දින ප්‍රධාන උත්සවය අමතමින් “සිලෝන් ටී” (Ceylon Tea) සන්නාමයේ සුවිශේෂී ගුණාත්මකභාවය ලෝකය හමුවේ අවධාරණය කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2019 වසරේදී මැයි 21 දින ජාත්‍යන්තර තේ දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර, 2020 සිට සෑම වසරකම චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය මඟින් මෙම ප්‍රධාන සැමරුම සංවිධානය කරනු ලබයි. මෙවර සමුළුවේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ජං ජු (Zhang Zhu) මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. ශ්‍රී ලංකා දූත පිරිසට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සහ තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ද ඇතුළත් වන අතර, ලොව ප්‍රමුඛ තේ නිෂ්පාදකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජාත්‍යන්තර තේ සමාගම් නියෝජිතයන් රැසක් ද මේ සඳහා එක්වෙති.














