ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද යන්න පිළිබඳව එළැඹෙන ජූනි 30 වැනිදා සිදුකරන සමාලෝචනයකින් පසු තීරණය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාර සහකාර නිලධාරීන් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට අද (02) එක්වීමෙන් අනතුරුවය.
මෙම සමාලෝචනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැක්වූ කරුණු කිහිපයක් පහත දැක්වේ.
වසරේ පළමු මාස 6 සඳහා ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවට මීට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි. වත්මන් ජල ගාස්තු මගින් ආයතනයේ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බව ද හෙළි වී ඇත.
මෑතකදී සිදුවූ විදුලි බිල ඉහළ යාම ජල ගාස්තු සඳහා යම් බලපෑමක් ඇති කරන බව අමාත්‍යවරයා පවසයි. කෙසේ වෙතත්, එය ජල බිලට සිදුකරනු ලබන්නේ ඉතා අවම බලපෑමකි.
ජනවාරි මාසයේ සිට ජූනි 30 දක්වා ජල පිරිපහදු සහ ජල සම්පාදන කටයුතු සඳහා දරා ඇති වියදම් පිළිබඳව ඉදිරියේදී සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකරනු ලැබේ.
ජූනි 30 වැනිදා පැවැත්වෙන සමාලෝචනයෙන් පසු අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බවත්, දැනට පවතින තත්ත්වය අනුව ජල බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















