කපිල චන්ද්‍රසේන මහතා චුදිතයකු මිස සාක්ෂිකරුවකු නොවන බැවින් ඔහුට ආරක්ෂාව සැපයීමට රජයට නෛතික බැඳීමක් නොමැති බව සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. පසුගියදා (10) කැලණියේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විදේශීය අධිකරණයක වරදකරුවකු වී සිටි ඔහුට එරෙහිව මෙරට තුළද විමර්ශන සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා ඔහුව නැවත අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබූ පසුබිමක මෙම සියදිවි නසා ගැනීම සිදුව ඇති බවද මෙහිදී අනාවරණය විය.
මෙම මරණය පිටුපස රජයේ සම්බන්ධයක් ඇති බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, වත්මන් රජය සැමවිටම වංචාවට සහ දූෂණයට එරෙහිව කටයුතු කරන බවත්, අදාළ විමර්ශන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත් අවධාරණය කළේය. එසේම, වංචා කරන ලද මහජන දේපළ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණය සතු කාර්යයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














