සමාජ මාධ්‍ය ජාලාවල පළවන දේවල් කියවීමට නොයන ලෙසත්, එසේ කියවන්නේ නම් ඒවා නොසලකා හැරීමට හුරු වන ලෙසත් තමන් බිරිඳට උපදෙස් දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නව සංවිධායකවරුන් පත්කිරීමේ උත්සවයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සමාජ මාධ්‍යයේ පළවන දේවලින් පීඩාවට පත් නොවී සිටීමට හුරු වුවහොත් ප්‍රශ්නවලින් 90%ක්ම අවසන් වන බවයි. දේශපාලනයේ නිරත වන කාන්තාවන්ට එල්ල වන විවේචන හමුවේ නොසැලී සිටිය යුතු බවත්, නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමට බිය නොවිය යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
එසේම ඕනෑම දේශපාලන පක්ෂයක් බලයට පත්වීමට කාන්තාවන් පෙරමුණට ගත්තද, බලයට පත්වීමෙන් පසු ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වෙනස් වන බව ඔහු පෙන්වා දුන්නේය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ යුද්ධය අවසන් කිරීමෙන් වැඩිම මානසික නිදහසක් හිමිවූයේ කාන්තාවන්ට බවත්, වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු කාන්තාවන් කෙරෙහි දක්වන සැලකිල්ල පිළිබඳ ගැටලුවක් පවතින බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














