ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා බැලීය. මාතෘ භූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් එම රණවිරුවන් කළ අපරිමිත කැපවීම මෙහිදී ජනාධිපතිවරයාගේ ඉහළ ඇගයීමට ලක් වූ අතර ඔවුන් සමඟ ඉතා සුහදව අදහස් හුවමාරු කර ගැනීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය. සුවතා නිකේතනයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙනුවෙන් ලබා දෙන සේවාවන් පිළිබඳ සොයා බැලූ අතර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කළේය.
මෙම අවස්ථාවට විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














