අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, වැටහිරකන්ද අලි මංකඩ මෙරට ප්‍රධාන අලි සංක්‍රමණික මාර්ගයක් (Elephant Corridor) ලෙස හඳුනාගෙන සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
ජාතික වනෝද්‍යාන යා කරන එකම වනාන්තර තීරුව
උඩවලව ජාතික වනෝද්‍යානය සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සම්බන්ධ කරන මෙම අලි කොරිඩෝව සුවිශේෂී භූගෝලීය වැදගත්කමකින් යුක්ත වේ. පානම, කුමන සහ යාල වනාන්තර ප්‍රදේශවල සිට උඩවලව දක්වා ගමන් කරන වන අලින්ට ඇති ප්‍රධානතම සහ එකම පටු වනාන්තර තීරුව ලෙස ද මෙය සැලකේ.
අනවසර වගාබිම් සහ ඉදිකිරීම් ඉවත් කෙරේ
වන අලින්ට බාධාවකින් තොරව සංක්‍රමණය වීමට අවශ්‍ය පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම කලාපයේ පිහිටි අනවසර ඉදිකිරීම් සහ වගාබිම් ඉවත් කිරීමේ නෛතික හා ප්‍රායෝගික වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම මෙම අලි මංකඩ ස්ථිරවම සුරක්ෂිත කිරීම සඳහා ගැසට් නිවේදන මඟින් අවශ්‍ය නීතිමය ආරක්ෂාව ලබාදීමට ද රජය පියවර ගෙන තිබේ. මෙමඟින් වන අලි සංරක්ෂණයට මෙන්ම කලාපයේ අලි-මිනිස් ගැටුම අවම කිරීමට ද සුවිශේෂී පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














