ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මඟින් දිවයින පුරා බෙදාහරිනු ලබන ප්‍රධානතම වාණිජමය ගිලින උපත් පාලන පෙති වර්ගය වන ‘මිතුරි’ වෙළඳපොළ තුළ හිඟවීම හේතුවෙන් මෙරට පවුල් සෞඛ්‍ය සේවාවන්ට සහ ප්‍රජනක සෞඛ්‍ය කළමනාකරණයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
දිවයින පුරා පෞද්ගලික ඖෂධසැල් සහ පවුල් සැලසුම් සායන වෙතින් මෙම පෙති නිසි පරිදි ලබා ගැනීමට නොහැකි වීම නිසා දිනපතා මෙම ඖෂධය මත පදනම් වන දහස් සංඛ්‍යාත කාන්තාවන් දැඩි අසහනකාරී තත්ත්වයකට පත්ව සිටිති. ගිලින පෙති භාවිත කිරීමේදී අඛණ්ඩතාව බිඳවැටීම නිසා අනපේක්ෂිත දරු ගැබ්ගැනීම් ඉහළ යාමේ සෘජු අවදානමක් නිර්මාණය වන අතර, එමඟින් සංකූලතා සහිත අනාරක්ෂිත ගබ්සාවන් සඳහා යොමුවීමේ ප්‍රවණතාව ද වැඩි විය හැකි බව සෞඛ්‍ය විචාරකයෝ පෙන්වා දෙති.
තවද, පළමු දරු උපත පමා කිරීමට සහ දරුවන් අතර පරතරය පවත්වා ගැනීමට බලාපොරොත්තු වන යුවළයන්ට මෙය දැඩි බලපෑමක් එල්ල කරයි. මෙවැනි අත්‍යවශ්‍ය ප්‍රජනක සෞඛ්‍ය ඖෂධ හිඟයකට පිළියම් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ සෞඛ්‍ය බලධාරීන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය (FHB) සහ රජයේ සායන හරහා විකල්ප උපත් පාලන ක්‍රම සහ හෝමෝන පෙති නිසි පරිදි සැපයීමට වහා පියවර ගත යුතු බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයෝ වැඩිදුරටත් අවධාරණය කරති.















