ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතිශයින්ම වැදගත් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් දෙකක් වන වෛද්‍ය රසායනාගාර කාර්‌මික විද්‍යාඥ (MLT) සහ භෞතචිකිත්සක තනතුරු සඳහා මාස 06ක පුහුණු පාඨමාලාවට උපාධිධාරීන් 101 දෙනෙකු බඳවා ගැනීමේ නිල උත්සවය ඊයේ (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මෙම උත්සවය සුවිශේෂී වන්නේ මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවයේ මෙම වෘත්තීන් දෙක සඳහා උපාධිධාරීන් පුහුණුවට බඳවා ගනු ලබන්නේ වසර පහකට පසුව වීම හේතුවෙනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මෙම මාස හයක අනුස්ථාපන හා සමායෝජන පුහුණු වැඩසටහන තුළ නව උපාධිධාරීන්ට රෝහල් පද්ධතියේ නවීන සායනික ක්‍රමවේද, රසායනාගාර තාක්ෂණය, රෝගී ආරක්ෂාව, වෘත්තීය ආචාරධර්ම සහ ප්‍රායෝගික සේවා අත්දැකීම් පිළිබඳ පුළුල් පුහුණුවක් ලබාදීමට නියමිත අතර, එය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔවුන් රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ස්ථිර සේවයට අනුයුක්ත කරනු ලැබේ. මෙයට සමගාමීව සති දෙකක විශේෂ කළමනාකරණ පුහුණුවක් ද අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය මඟින් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. වෘත්තීය සමිති සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවති දිගුකාලීන පරිපාලනමය ගැටලු නිරාකරණය කරමින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.
රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ පවතින උග්‍ර කාර්‌ය මණ්ඩල හිඟය හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී තිබූ වටපිටාවක, වසර පහකට පසු මෙම බඳවා ගැනීම් සිදු කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාධනීය ප්‍රගතියක් බව වෘත්තීයවේදීහු පෙන්වා දෙති. විශේෂයෙන්ම රෝග විනිශ්චය සහ පුනරුත්ථාපන සේවා කඩිනම් කිරීමට මෙම නව බඳවා ගැනීම් සෘජුවම දායක වන අතර, එමඟින් සාමාන්‍ය ජනතාවට රෝහල්වලින් ලැබෙන සේවාවන් වඩාත් කාර්යක්ෂම වනු ඇත. දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත තිරසාර ලෙස කළමනාකරණය කිරීම සහ නිසි කලට බඳවා ගැනීම් සිදු කිරීම සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවයේ වෘත්තීය ප්‍රමිතිය සහ විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීමට අතිශය තීරණාත්මක වන බව සෞඛ්‍ය විශ්ලේෂකයෝ සන්කල්පනය කරති.














