රටවල් 5ක නිල සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නෙදර්ලන්තයේ හේග් අගනුවරදී ද්විපාර්ශ්වික ගිවිසුම් 17කට අත්සන් තබා ඇත. නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය රොබ් ජේට්න් මහතා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම ගිවිසුම්වලට එළැඹුණේ දෙරට අතර උපායමාර්ගික සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණෙනි.
මෙම ගිවිසුම් මගින් ආරක්ෂක ක්ෂේත්‍රය, තීරණාත්මක ඛනිජ සම්පත්, වෙළෙඳ හා ආයෝජන, අර්ධ සන්නායක (semiconductors), අභ්‍යවකාශ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ ක්වොන්ටම් පරිගණක තාක්ෂණය වැනි උසස් ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරේ. මෙහිදී දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා විශේෂ මාර්ග සිතියමක් ද එළිදැක්විණි.
පසුගිය 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආරම්භ වූ අගමැතිවරයාගේ මෙම සංචාරයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවල් අයත් විය. ඉන්දීය අගමැතිවරයෙකු වසර 43කට පසු නෝර්වේ රාජ්‍යයේ සිදු කළ පළමු සංචාරය ද මෙයට ඇතුළත් වීම විශේෂත්වයකි. මැදපෙරදිග හා යුරෝපයේ වෙළෙඳ, ආයෝජන සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.















