ජාත්‍යන්තර තේ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ‘බීටා ෆුඩ් ඉන්ඩස්ට්‍රි ඇන්ඩ් ට්‍රේඩ්’ (BETA Food Industry and Trade Inc.) ආයතනය සමඟ එක්ව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති නිල නිවසේ පැවති මෙම උත්සවය සඳහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, තුර්කි රජයේ නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රමුඛ පෙළේ තේ ආනයනකරුවන් සහ වෙළෙන්දන් පිරිසක් එක්ව සිටියහ.
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති නිලුකා කදුරුගමුව මහත්මිය උත්සවය අමතමින්, ජාත්‍යන්තර තේ දිනයෙහි ඇති ගෝලීය වැදගත්කම මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික, සංස්කෘතික සහ ඓතිහාසික පසුබිම තුළ තේ කර්මාන්තය සතු සුවිශේෂී ස්ථානය අවධාරණය කළාය. ලංකා තේ සතු ගුණාත්මක බව, අද්විතීය සුවඳ සහ රසය ලොව පුරා තවමත් ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බව ඇය සඳහන් කළාය.
මෙම වැඩසටහනේදී ලංකා තේ පිළිබඳ විශේෂ දේශනයක් හටිස් උගූර් මහත්මිය විසින් පවත්වනු ලැබූ අතර, ලංකාවේ ප්‍රධාන තේ ප්‍රභේද හතක් සහ උසස් තත්ත්වයේ අත්කම් තේ වර්ග (artisanal teas) රස බැලීමේ අවස්ථාවක් ද සහභාගිවන්නන්ට හිමි විය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාර පානවලින් සහ සංස්කෘතික අංගවලින් මෙම දිනය වර්ණවත් විය.
මෙම උත්සවය මගින් ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර තේ කර්මාන්තය ආශ්‍රිත වෙළෙඳ සබඳතා සහ සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාව ලැබිණි.
















