ශ්රී ලංකාවේ ජීවත්වන රෝහින්ග්යා සරණාගතයෙකු වන මොහොමඩ් අන්වර් (Mohammad Anwar) විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය ඇමතූ අතර, ශ්රී ලංකාවේ රැඳවුම් භාරයේ පසුවන රෝහින්ග්යා සරණාගතයින් වහාම නිදහස් කරන ලෙසට සෘජු ඉල්ලීමක් කර තිබේ.
‘Pax Romana’ සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, 2024 දෙසැම්බර් මාසයේදී යාපනය මුහුදු තීරයේදී අනතුරට ලක්ව පැමිණි ළමුන් 57 දෙනෙකු ඇතුළු රෝහින්ග්යා වැසියන් 116 දෙනෙකු මාස 20කට වැඩි කාලයක් තිස්සේ ශ්රී ලංකාව තුළ රැඳවුම් භාරයේ පසුවන බවයි. උන්ව ‘නීතිවිරෝධී සංක්රමණිකයන්’ ලෙස නම් නොකර, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට (UNHCR), නීතිඥයින්ට සහ මානව හිමිකම් සංවිධානවලට උන් වෙත ළඟාවීමට ඉඩ දෙන ලෙසත්, වෙනත් රටක නැවත පදිංචි කළ නොහැකි සරණාගතයින්ට ශ්රී ලංකාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබාදීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසත් ඔහු ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.














