බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සංවිධානය කළ බාලක වයස අවුරුදු 13න් පහළ පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය (පන්දුවාර 20ක් ලෙස පැවැත්විණි) ජය ගනිමින් එහි ශූරතාව දිනා ගැනීමට මොනරාගල දිස්ත්‍රික් A කණ්ඩායම සමත් විය. බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් තරගයේදී ඔවුන් විසින් බදුල්ල දිස්ත්‍රික් B කණ්ඩායම පරාජය කරන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 3ක් (A, B, C) සහ මොනරාගල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 2ක් (A, B) ලීග් ක්‍රමයට යටත්ව මෙම තරගාවලියට එක්වූහ.
තරගාවලියේ විශේෂ සම්මාන දිනාගත් ක්‍රීඩකයන් අතර, හොඳම පිතිකරු සහ අවසන් තරගයේ වීරයා ලෙස මොනරාගල මහානාම ජාතික පාසලේ දොහාන් සෙනඳු (මොනරාගල A) සම්මාන ලැබූ අතර, හොඳම පන්දු යවන්නා ලෙස බදුල්ල B කණ්ඩායම නියෝජනය කළ වියළුව කලාපයේ ප්‍රමෝද් නිශාද සම්මාන දිනා ගත්තේය. තරගාවලියේ වීරයා ලෙස බිබිල මහාමාත්‍ය විද්‍යාලයේ උවිඳු මෙත්සර (මොනරාගල A) සම්මාන හිමිකර ගත්තේය.
ඌව පළාත් ක්‍රිකට් සංගමයේ සහ බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් බගීරදන් බාලචන්ද්‍රන් මහතා ඇතුළු ක්‍රීඩා නිලධාරීන් සහ ක්‍රීඩකයන්ගේ දෙමාපියන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.














