ඉඩම් හිමිකම් තහවුරු කිරීමේ අරමුණින් ක්රියාත්මක ‘හිමිකම’ ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්රික්කයේ ජනතාවට ඉඩම් දීමනා පත්ර 1,400ක් පිරිනමා තිබේ.
ඉඩම් දීමනා පත්ර 10,000ක් ලබාදීමේ ජාතික වැඩසටහනේ කොටසක් ලෙස මෙම ප්රදානය ඊයේ (15) මොනරාගල නිශ්ශංක ජාතික පාසලේ ප්රධාන ශාලාවේදී සිදු කෙරුණු අතර, එය කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
ජනතාවගේ ඉඩම් සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ඔවුන්ගේ ඉඩම් හිමිකම් තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු වේ.
එහිදී අදහස් දැක්වූ අමාත්යවරයා සඳහන් කළේ, රට බංකොලොත් තත්ත්වයක පැවති අවස්ථාවක ජනතාව වත්මන් ආණ්ඩුවට බලය ලබාදුන් බවයි. ආණ්ඩුව ගන්නා ප්රතිපත්තිමය තීරණ ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය මුදල් ප්රතිපාදන වෙන් කිරීමත්, ඒවා ක්රියාවට නැංවීමත් රජයේ වගකීමක් බව ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ රාජ්ය යාන්ත්රණය දුර්වල තත්ත්වයක පැවති බව පෙන්වා දුන් අමාත්යවරයා, රාජ්ය නිලධාරීන්ගේ හිඟය සහ ප්රමාණවත් පහසුකම් නොමැති වීම වැනි ගැටලු ද පැවති බව සඳහන් කළේය. රටේ සංවර්ධන කටයුතු කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමට කාර්යක්ෂම ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් රාජ්ය යාන්ත්රණයක්ද අවශ්ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ජාත්යන්තර යුදමය තත්ත්වයන් හේතුවෙන් මෙරට ජනතාවට ඇතිවන බලපෑම් අවම කිරීමට රජය කළමනාකරණ ක්රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්යවරයා සඳහන් කළේය. පොහොර මිල ඉහළ යාම හමුවේ ගොවීන්ට සහන ලබාදෙමින් පොහොර සැපයීමට රජය කටයුතු කරන බවත්, ආසියානු කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී ශ්රී ලංකාවේ ඉන්ධන මිල අඩු මට්ටමක පවතින බවත් ඔහු ප්රකාශ කළේය.
වාරිමාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේ කුඹුක්කන් ඔය වාරිමාර්ග ව්යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්ය සැලසුම් සකස් කර ඇති බවයි. සති දෙකකට පමණ පෙර කුඩා ඔය ජලාශයද ජනතා අයිතියට පත් කළ බව ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් බව පැවසූ අමාත්යවරයා, බාස්මතී, ජැස්මින් සහ ස්ටිකි රයිස් යන සහල් වර්ග තුන ආනයනය කරන බවද ප්රකාශ කළේය. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම සිය අමාත්යාංශයේ ප්රධාන වගකීම් අතර වන බවද ඔහු අවධාරණය කළේය.
















