මොරගහහේන, කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක් ඉලක්ක කරගෙන අද (ජූනි 23) අලුයම සිදුකළ කොල්ලකෑමකින් එහි තිබූ රන් ආභරණ තොගයක් කොල්ලකෑමට ලක්ව තිබේ.
මෙම කොල්ලය සඳහා සැකකරුවන් තිදෙනෙකු පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. කොල්ලකරුවන් බැංකුවේ රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරීන්ව බලහත්කාරයෙන් ගැටගසා, පසුව බැංකුවේ පිටුපස පිහිටි නාන කාමරයේ ජනේලයක් කඩා ඇතුළු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
බැංකුවට ඇතුළු වූ කොල්ලකරුවන් එහි තිබූ සේප්පුව කඩා එහි තැන්පත් කර තිබූ වටිනා රන් ආභරණ තොගය කොල්ලකා පලාගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
















